ඔබම මිසක


ඈත දිලෙන සඳ කුමරුට
හෙමින් හෙමින් ලං වෙන්නට
පුංචි පුංචි මුතු කැටවන්
තරු කුමරිට හැකිනම්....

සිත යට තෙරපෙන සිතුමන්
පේලි පේලි හැඩ කරමින්
ලියවෙන කවි පද අයුරින්
අරුත ඔබම වේ නම්....

සිහිනෙන්වත් ඇවිත් යන්න
සත් සමුදුර එහා සිටන්
ඔබම මිසක මගේ ලොවට
කොහෙන්ද වෙන මිහිරක්........

නොලැබු පදවිය


නුඹ නළවන්නට
දෙතනේ කිරි නැත
කුසින් දරා මා
වැදුවේ නැත පුත
එනමුදු පුතුනේ
වැගිරෙන සෙනෙහස
කෙසේ කියම්දෝ
මා නුඹ හට
පැතුවත් මවු පදවිය
නොලැබිණි මා පෙර පව
එනමුදු පුතුනේ
නුඹේ මවු ලෙස
හිදිමි මෙලොව
දිවි ඇති තුර......

මගේ පුතුනේ........



කිරි සුවඳ පැතිරෙයි
දස අත
කිරි සිනා මල් පිපෙයි
ගෙය තුල
කිරුළ පළදියි
පියෙක් තුටු සිත
පුංචි බිළිඳක්
හිඳි මව අත
ලබයි උණුසුම
මවගේ ළය තුල


පුංචි පුතුනේ
අසන් හැමදින
නුඹට භාරයි
නුඹේ හෙට දින
දිරිය ගෙන
පා තබනු නිසිලෙස
දිනයි නුඹ
ලෝකයම මතු දින

එදින පුතුනේ
නුඹේ ලෝකය
එළිය වු බව
පසක් කොට ගෙන
එපා කිසිදින
මතක නැති කර
හැදු මව් පිය
දෙපළ හැම කල
එවිට දිළිසෙයි
නුඹේ ලෝකය
පළිඟුවක් බැඳි
ගෙල වට


සදාතනිකයි


සොඳුරු සිහිනෙක
සිතඟ දැවටෙන

සිනහ මල් පොදි

සිතක් නළවන

ඉකිබිදුම් නැති

සිනහා ලංවෙන

ලෙංගතුම හිත
නුඹෙයි සකිසඳ
කාලයෙ රැදු

සහසිකම් මැද

වෙන්ව යන්නට
වෙවී මතු දින
සිතඟ රැඳි
මතක ආදර
සදා නොමෙකෙයි
ගෙවෙන හැමකල

පෙම් නොකරමි


ඔබේ සිනහව ලැබෙනවා නම්
කුමටද මට මල් පොකුරු
ඔබේ කටහඬ ඇසෙනවා නම්
කුමටද මට ගී මියුරු
ඔබේ ලොකය මම නොවේ නම්
කුමටද මට යසඉසුරු
හිමි නැති බැව් දන්නවා නම්
පෙම් නොකරමි මෙයින් මතු

දම් සිල් රකිමි......


දෙපා වදිමි අවසර දෙනු මැන මෑණියනි
බෝ මලුවේ සිලි සිලියෙන් හදවත නිවුනි
සුදු වැල්ලේ පිය නැගුවෙමි පා යුග රැඳුනි
සසර දුකින් එතරවන්න මගේ සිත පිරිණි......

දෝතින් ගෙන සුදු මල් පොඩි බුදු හිමි වඳිමි
කසාවතින් සැරසි මම සිල් පද රකිමි
එපින් බලෙන් වරිග සතර එතර කරවමි
අවසන් දින දෙපා වඳිමි මගෙ මෑණියනි...

මුලුමහත් ලෝකය


මුලුමහත් විශ්වයට
ඔබ එකම එක් තරුවක්
ඒත් එකම එක් කෙනෙකුට
ඔබ පෝදා පුන් සඳක්....

මුලුමහත් ලෝකයට
ඔබ එකම එක් කෙනෙක්
ඒත් එකම එක් කෙනෙකුට
ඔබ මුලුමහත් ලෝකයක්...

ආදරය තනිවෙලා.........


පාවෙන තරුවක ලියා එවමි
මම තනිකමින් කියා
යාවෙන සුසුමක තරමකවත් දුර
නැත ඔබ ළගින් තියා
ඔබ ළඟ රැදෙනට පෙරුම් පුරන බව
කිව්වෙමි හාදු තියා

සත් සමුදුර ඔබ තරණය කෙරුවේ
ජිවිතයක් ජය ගන්න සිතා
ඔබ නැති තත්පරයක් පාහේ
අධික අවුරුදු ලැබුවේ මා
තරුවක පා කර එවමි හාදුවක්
ඔබ වෙත දෙන්න කියා


ඈත සිටන් ඔබ පුදනා සෙනෙහස
මම ළඟ තබා ගමි
සිතින් ඔබේ ළග දැවටෙනු රිසියෙන්
දෙනෙතත් පියාගමි.........

විවර වු මගේ හද


පුංචි පුංචි දිය බිඳුවන්
රාශියක් කැටි වෙමින්
සුදු පුළුන් වළා රැළි සෑදුනේ....
ලෝකයට එළිය දෙන
දිණමිණක් පායමින්
අහස් කුස සැරි සරා දිළිසුනේ....
පුළුන් වළාවන් පැමිණ
දිණමිණත් වසාගෙන
වැටෙන හිරු කිරණ පොදි පැරදුනේ...
මුකුලිතව තිබු සිත
ඔබේ එක බැල්මකින්
විකසිතව සිනා මල් පිබිදුනේ....
වළාවකට හැකිවුවත්
හිරුකිරණ නවතාලන්න
කිමද මට බැරිවුනේ
ඔබ නමින් මගේ හද
විවර නොකරා ඉන්න............

දයාබර මෑණියනි..........




සැමදාම ගිලිහුනත්
උණු කඳුලු බිංදුවක්
දැක්කමයි ඒ බිඳක
උතුරනවා සතුටක්.....

ජීවිතය ජයගන්න
ඔබට සෙවනක් වෙන්න
පෙව් රන් කිරි කඳුලු
වුනා මගෙ දිවිය සවිමත්....

මා සුවෙන් නළවන්න
ඔබ ගැයු ගී වදන්
මම ගයමි සෙනෙහසින්
සනසන්න ලොකයක්.....

මහමෙරක් බර දරන්
සිත පුරා තද කරන්
උන්නු ඒ ඇස් දෙකෙන්
දුන්නු ආලොකය සැපක්.....

ඔබ පෑව ගුණහරුකම්
වේවි මගෙ ලොව ඔපවත්
මිලක් නියම නැතිවුත්
වේවි සදහට ස්නෙහයක්...

මගෙ හද අරණට වඩින්න


පිණි ඉහිරෙන
සීත රෑක
සඳවතියට
නෙතු සලන්න
පිපිදෙන කොඳ
පුංචි මලක
සුවඳ රැගෙන
එපා යන්න
තරු පොකුරට
දසන් විදා
ඇස් කොනකින්
හිනාවෙන්න
අරලිය මල්
සුවඳ අරන්
මගෙ හද අරණට
වඩින්න

අරුම සෙනෙහස


පුංචි කඳුලු කැට හෙමිහිට
ඔබ වෙනුවෙන් වැටෙනා විට
ඒ කඳුලක වටිනාකම
ඔබට දැනුනේ නෑ..

හිත යට තෙරපෙන සුසුමන්
ඔබ වෙනුවෙන් සුසුම් ලද්දි
ඒ සුසුමක වටිනාකම
ඔබට දැනුනේ නෑ...

දෑස් රිදෙන තුරු බලාන
ඔබ වෙනුවෙන් සිටින කල්හි
ඒ දෑසක් සනසවන්න
ඔබට සිතුනේ නෑ.....

එක පාරක් රිදවු හිත
ඔබ වෙනුවෙන් ඉවසන සද
තව පාරක් නොරිදවන්න
ඔබට හිතුනේ නෑ...

මොහොතට අමතක වන සද
නැවතත් මා වෙත දිව එන
ඔබ ළඟ ඇති ඒ සෙනෙහස
හිතාගන්න බෑ...

මගේම මව් ඔබ


මගේම මව් ලෙස
කිරුළ දිනන්නට
හැකි වේ ඔබ හට
උපදින මතු භවයේ
දෝර ගලායන
ඔබෙ මව් සෙනෙහස
ලැබෙනවා නම් මට
මතු මතු සංසාරේ
කියමි කතාවක්
නලල් තලය සිප
වන්නෙමි පුතු ඔබේ
සසර පුරාවට.............

අගෙයි ඔබ මට


මගෙ දිවි බර
මට දැනෙන්නට
නොදි නුඹ හිස දරා

නිමක් නැති මග
වැරදි යන්නට
ඉඩක් නැත ණුඹ ඇත බලා

මගේ හැම දුක
නුඹෙ උර මත
හොවා හැමදේ දරා

මහ රුකකි ඔබ
ලැබුනු සෙනෙහස
එතෙමි ඔබේ සියොළග පුරා

නුඹේ මිනිසත්
කමේ වාරුව
දැනේ මට දිවි ඇති තුරා

චපලකම


අමාවක සඳ
ඔබෙන් පුද ලද
උරුමයයි කඳුලු

ගෙවුන කාලය
ලැබුන ආලය
නිමා වී සොඳුරු

පීරු පෙම් දම
දරා නෙතඟින්
විරාගය ඇරඹු

දයා ගුණයක්
ලයේ නැති බව
ලියා මට පෙන්වු...

ඹබර පහසක් නොපතන්න




සීත පිනි සළු බලෙන් ගලවා
තුරු අගිස්සක පිපුනු මල සිඹ
ඹබර තුඩකට හසු නොවන්නයි
ලොවට රහසින් කියන්නම්.............

මල් පිපෙන්නේ රොන් පුරන්නයි
ඹබරු එන්නේ රොන් උරන්නයි
සුමුදු මල් පෙති තලා සිදබිද
වෙන්ව යන්නේ දුක බෙදන්නයි........

මල් පිපෙන්නෙ සුවඳ දෙන්නයි
ලෝකයට ලස්සන බෙදන්නයි
මලෙන් ලෝකය පුබුදු වුදා
හාදු සමනළයකුට දෙන්නයි......

Related Posts with Thumbnails

සහෘර්දයින්

Tiliose Tec forum

ආගන්තුකයින්

free counters